Sunday 9th of November 2025

English Tamil
Advertiesment


ජනවරමට වඩා ප්‍රතිසංස්කරණ අවශ්‍ය වේ


2025-10-22 1225

 

(ආචාර්ය ජෙහාන් පෙරේරා)



වත්මන් ආණ්ඩුව තමන් තේරී පත්වූයේ 'පද්ධති වෙනසක්' සඳහා ප්‍රබල ජනවරමක් සහිතව බව දනී. ආණ්ඩුවේ නායකයන් බොහෝවිට කතාකරන්නේ, ඔවුන් විශ්වාස කරන අරමුණු ක්‍රියාත්මක කිරීම සඳහා මෙම ජනවරම ඔවුන්ට හිමිකමක් ලබාදී ඇති ආකාරයටය. එහෙත් මේ සිතීම රජයටත් රටටත් යන දෙකටම ප්‍රශ්න ඇතිකරයි. ප්‍රජාතන්ත්‍රවාදී රටක නීත්‍යානුකූලභාවය ලැබෙන්නේ මැතිවරණයක් ජයග්‍රහණය කිරීමෙන් පමණක් නොවේ. එය සියලු පුරවැසියන්ගේ අඛණ්ඩ කැමැත්ත සහ සහභාගීත්වය මත ද රඳාපවතී. සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය යන්නෙන් අදහස් කරන්නේ, බහුතර ජනතාවගේ පමණක් නොව, සමස්තයක් ලෙස ජනතාවගේ කැමැත්ත නියෝජනය වන පරිදි පාලනය කිරීම සහ සුළු ජාතීන්ගේ හඬට ද සවන් දීම සහ ගරුකිරීම සහතික කිරීමයි.

ශ්‍රී ලංකාව යනු තනි හෝ ඒකාකාරී සමාජයක් නොවේ. එය විවිධ සංස්කෘතීන්, සම්ප්‍රදායන්, ආගම් සහ අනන්‍යතා රාශියක් ඇති රටකි. මුළු දිවයිනම එකම රජයකට යටත් වූයේ 1835 දී බ්‍රිතාන්‍ය පාලනය යටතේ පමණි. ක්‍රමය වෙනස් කිරීම සඳහා ජනවරමක් යනු, එම වෙනස කුමක් විය යුතුද යන්න තීරණය කළ හැක්කේ, මැතිවරණයේ ජයග්‍රාහකයන්ට පමණක් බව නොවේ. එයට වගකිවයුත්තන් ඔවුන් පමණක් නොවන අතර, ඔවුන්ගේ තීරණවලින් පීඩාවට පත්වන ජනතාවට සවන් නොදී ක්‍රියාකළ නොහැක. ප්‍රජාතන්ත්‍රවාදය යනු, මැතිවරණයක් ජයග්‍රහණය කිරීම පමණක් නොවන බව රජය සිය දෙවැනි වසර ආරම්භ කරන මේ මොහොතේ මතක තබාගත යුතුය. 2022 දී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ ඔහුගේ පාලනයට සිදුවූවාක් මෙන් ඕනෑම පාලකයකුට ජනතා සහාය අහිමිවිය හැකිය.

ප්‍රජාතන්ත්‍රවාදී රටක යහපාලනය යන්නෙන් අදහස් කරන්නේ, සෑමවිටම සාකච්ඡා කිරීම සහ ඊට සම්බන්ධ පුද්ගලයන් හා අනෙකුත් කණ්ඩායම්වලට සවන්දීමයි. එය අඛණ්ඩ ක්‍රියාවලියකි. ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රකාශනයේ එක් ප්‍රධාන පොරොන්දුවක් වූයේ, අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කිරීමයි. මීට මාස තුනකට පමණ පෙර රජය සිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැලැස්ම ප්‍රකාශයට පත්කළ නමුත් බොහෝදෙනා ඒ ගැන කළින් කිසිවක් දැනසිටියේ නැත. එබැවින් එම නිවේදනය, ප්‍රගතිය වෙනුවට විරෝධතාවලට තුඩුදීම පුදුමයක් නොවේ. ප්‍රතිසංස්කරණ විවේචනයට ලක්විය. ඒ, ඇතැම් හොඳ හේතු නිසා සහ සමහර විට වැරදි වැටහීම් මතය. ඉතිහාසය විෂයට අඩු වැදගත්කමක් ලබාදෙන බව සමහරු ප්‍රකාශ කළහ. නව විෂය මාලාව විසින් පාසල් වාණිජකරණයකට ලක්කර ඇතැයි වෘත්තීය සමිති ප්‍රකාශ කළේය. තවත් සමහරු විශ්වාස කළේ, මෙහිදී දේශීය වටිනාකම් වෙනුවට විදේශීය වටිනාකම් ආදේශ කරන බවයි.

මෙම උත්සායන් හරි හෝ වැරදි හෝ වේවා, රජය තම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රකාශ කිරීමට පෙර, ඒවා පැහැදිලි කර සාකච්ඡා කළේ නම්, වඩා හොඳින් හැසිරවිය හැකිව තිබිණි. එක්තරා ආකාරයකින්, ප්‍රතිසංස්කරණවලට විරුද්ධ වීම රජය විසින්ම මිනිසුන්ට පහසු කෙරිණි. රජය ගුරුවරුන්, විද්වතුන්, ආගමික නායකයන්, මාපියන් හෝ වෙනස්කම්වලින් වඩාත් පීඩාවට පත් වූ පුද්ගලයන් සමඟ සිය සැලසුම් බෙදාගත්තේ හෝ සාකච්ඡා කළේ නැත. විපක්ෂය හෝ සිවිල් සමාජය සමඟ කළින් රැස්වීම් හෝ උපදේශන ද සිදුනොවීය. රජයට ප්‍රථමයෙන් එම ප්‍රතිසංස්කරණ මහජන සාකච්ඡාවට හා සංශෝධනය සඳහා කෙටුම්පතක් ලෙස ඉදිරිපත් කළ හැකිව තිබිණි. එය එසේ කර, විවෘත සංවාදයක් ආරම්භයේ සිටම දිරිමත් කළේ නම්, බොහෝ වැරදි වැටහීම් වළක්වාගත හැකිව තිබිණි.



නැවත පසුබසින්න



රජය නැවතත් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ විවේචනයට ලක්ව ඇත. මෙවර එය සිදුවන්නේ දරුවන්ට පාසලේදී සහ නිවසේදී ශාරීරිකව හා මානසිකව දඬුවම් කිරීම තහනම් කිරීම සඳහා නීතිය වෙනස් කිරීමේ සැලැස්ම සම්බන්ධයෙන් ය. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම (HRCSL) පවසා ඇත්තේ ශාරීරික දඬුවම් තහනම් කිරීම අන්තර්ජාතිකව පිළිගත් යහපත් පිළිවෙතක් බවත්, එය ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ කොටසක් බවත්ය. දණ්ඩ නීති සංග්‍රහයට සංශෝධන සිදුකිරීම හරහා දරුවන්ගේ ආරක්ෂාව සහ ගෞරවය ආරක්ෂා කිරීමට රජය ගන්නා උත්සාහය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් සාදරයෙන් පිළිගනු ලැබීය. මෙම සංශෝධන මඟින් වයස අවුරුදු 18ට අඩු ඕනෑම අයකු සඳහා ශාරීරික හෝ මානසිකව සිදුකරන සියලු කෲර, හානිකර හෝ පහත් දඬුවම් තහනම් කරනු ඇත. කෙසේවෙතත්, නැවත වරක්, රජය මෙම යෝජිත ප්‍රතිසංස්කරණ ප්‍රකාශයට පත්කිරීමට පෙර විපක්ෂය හෝ සිවිල් සමාජය වැනි වැදගත් කණ්ඩායම් සමඟ සාකච්ඡා කළේ නැත. එහි ප්‍රතිඵලයක් ලෙස, මහජන පීඩනය යටතේ එය දැන් ප්‍රතිසංස්කරණයෙන් ඉවත්කෙරෙන බව පෙනේ.

රජයේ යෝජනාවට එරෙහිව ගුරු සංගම් සහ බොහෝ ආගමික නායකයෝ පෙරමුණ ගෙන සිටිති. ශාරීරික දඬුවම් තහනම් කළහොත් පාසල් කළමනාකරණය කිරීම දුෂ්කර වනු ඇතැයි ඔවහු කනස්සල්ලට පත්ව සිටිති. කෙසේවෙතත්, ඉන්දියාව සහ ජපානය වැනි රටවල් පාසල්වල විනය පවත්වා ගනිමින් ශාරීරික දඬුවම්වලින් දරුවන් ආරක්ෂා කරගත හැකි බව පෙන්වා දී ඇත. ඉන්දියාවේ, 2009 අධ්‍යාපන අයිතිවාසිකම් (RTE) පනත මඟින් පාසල්වල ශාරීරික දඬුවම් සහ මානසික හිරිහැර කිරීම පැහැදිලිවම තහනම් කර ඇත. එය නීතියෙන් එවැනි ක්‍රියාවන් දඬුවම් ලැබිය හැකි ක්‍රියාවක් බවට පත්කරයි. මෙම පනත ගුරුවරුන්ට, දෙමාපියන්ට සහ වෙනත් ඕනෑම වැඩිහිටියන්ට අදාළ වන අතර, දරුවන්ට ඉගෙනීමට ආරක්ෂිත සහ සහායක පරිසරයක් ඇති බව සහතික කරයි.

ඒ හා සමානව, ජපානයේ, පාසල් අධ්‍යාපන නීතියේ 11 වැනි වගන්තිය යටතේ පාසල්වල ශාරීරික දඬුවම් පැහැදිලිවම තහනම් කර ඇත. 1947 දී හඳුන්වාදුන් මෙම නීතිය මගින් පාසල්වල ශාරීරික දඬුවම් නැවැත්වීමට අදහස් කරන ලදී. පාසල්වලට තවමත් විනය ක්‍රියාමාර්ග ගතහැකි වුවද, ශාරීරික දඬුවම්වලට අවසර නැත. මෙම නීති නිසා ඉන්දියාව හෝ ජපානය අවුල් ජාලයකට මුහුණ දී නොමැත. ඒ වෙනුවට, එම රටවල ගුරුවරුන් විනය පවත්වා ගැනීම සඳහා වඩා හොඳ, අවිහිංසාවාදී ක්‍රම භාවිත කිරීමට පුහුණු කරන ලදී. යහපත් සහ ප්‍රඥාවන්ත පාලනය යනු සමාජය උසස් ප්‍රමිතීන් කරා මෙහෙයවීම මිස ඝෝෂාකාරී හඬවල් සමඟ එකඟ වීම නොවේ. ජනතාව පිළිගන්නේ නැති නීති රජය හඳුන්වා නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසා තිබේ. එහෙත්, අන්‍යෝන්‍ය අවබෝධය ඇතිවන තුරු රජය ජනතාව සමඟ සාකච්ඡා කරන බව ඔහු පැවසුවා නම් වඩා හොඳ වනු ඇත.



අසාර්ථකත්වය ජයගැනීම



සාකච්ඡා පැවැත්වීමට රජය අපොහොසත් වීම හේතුවෙන් නැවතවරක් එහි තවත් උත්සාහයක් අවදානමට ලක්ව ඇත. ජනාධිපති දිසානායක සහ අනෙකුත් නායකයන් බොහෝවිට පවසා ඇත්තේ, වෙනස්කම් කිරීමකින් තොරව සියලුම පුරවැසියන්ට එක හා සමානව සැලකීමට තමන් කැපවී සිටින බවයි. මෙයට ලිංගික සුළුතරයන්, විවිධ ලිංගික දිශානතියන් ඇති පුද්ගලයන් ආරක්ෂා කිරීම ඇතුළත් වේ. යටත්විජිත සමයේ සිට මෙම කණ්ඩායම් ප්‍රතික්ෂේප කිරීම් සහ අපකීර්තියට මුහුණ දී ඇත. එහෙත් මුල් කාලවලදී, ශ්‍රී ලංකා සමාජය ලිංගික විවිධත්වය වඩාත් පිළිගත්තේය. ඓතිහාසික වාර්තා සහ පුරාණ ලේඛනවලින් පෙනීයන්නේ යටත්විජිත පාලනයට පෙර සමලිංගික සබඳතා දැනසිටි බවත්, ඒවා සමාජය විසින් සාමාන්‍යයෙන් ඉවසා සිටි බවත්ය.

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රකාශනය මඟින් ශ්‍රී ලංකාවේ සමලිංගික සබඳතා අපරාධයක් නොවන බවටත්, LGBTQ+ අයිතිවාසිකම් ශක්තිමත් කිරීමටත් පොරොන්දු විය. සමලිංගික සමීපතාව අපරාධයක් බවට පත්කරන දණ්ඩ නීති සංග්‍රහයේ කොටස් ඇතුළුව අසාධාරණ නීති වෙනස්කිරීමට සහ ලිංගික දිශානතිය හෝ ස්ත්‍රී පුරුෂභාවය මත පදනම් වූ වෙනස්කම් කිරීම්වලට එරෙහිව ව්‍යවස්ථාමය ආරක්ෂාවන් එක්කිරීමට ද ජාතික ජන බලවේගය පොරොන්දු විය. කෙසේවෙතත්, සියලුම ලිංගික නැඹුරුතාවන්ගෙන් යුත් සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණීම සාදරයෙන් පිළිගන්නා බව රජය නිවේදනය කළ විට, සමහර ආගමික නායකයෝ සහ ජාතිකවාදීහු මෙය රටේ සංස්කෘතියට පටහැනි බව පවසමින් විවේචනය කළහ. එහි ප්‍රතිඵලයක් ලෙස, රජය දැන් තමන්ගේම පණිවිඩයෙන් ඉවත්වෙමින් සමලිංගික සබඳතා සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහය වෙනස් කිරීමේ පොරොන්දුවෙන් පසුබසිමින් සිටින බව පෙනේ.

සංවාදය දුර්වලතාවයේ ලකුණක් හෝ අනවශ්‍ය දෙයක් ලෙස දැකීම වෙනුවට, බෙදීගිය සමාජයකට පොදු පදනමක් සොයාගැනීමට ඇති හොඳම ක්‍රමය එය බව රජය තේරුම්ගත යුතුය. හොඳින් සැලසුම් කරන ලද ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් රජය මුහුණදෙන දුෂ්කරතාවලින් පෙනීයන්නේ, ඒ පිළිබඳව අදාළ සියලුම කණ්ඩායම් සමඟ වැඩි වැඩියෙන් සාකච්ඡා පැවැත්විය යුතු බවත්, සිය ඉලක්කවලින් පසුබසින්නේ නැතිව එසේ කළයුතු බවත්ය. උපදේශනය ප්‍රගතිය මන්දගාමී නොකරයි; එය ඇත්ත වශයෙන්ම ප්‍රගතියක් ලබාදෙයි. විවෘත සාකච්ඡාවකින් තොරව, හොඳ ප්‍රතිසංස්කරණ පවා අසාර්ථක විය හැකිය. රජය තමන්ගේම කණ්ඩායමෙන් ඔබ්බට හවුල්කාරිත්වයන් ගොඩනගාගත යුතුය. සිවිල් සමාජය, ආගමික නායකයන්, ගුරුවරුන්, වෘත්තීය සමිති සහ සුළුතර ප්‍රජාවන් ප්‍රතිසංස්කරණ සඳහා බාධා නොවේ. සියල්ලන් එක්කර ගනිමින්, සියල්ලන්ට සවන්දුන් විට, ඔවුන්ට ශක්තිමත් හවුල්කරුවන් සහ ධනාත්මක වෙනසක ධාවකයන් බවට පත්විය හැකිය.

ජාතික සංහිඳියාව සඳහා ජනතාව සහ අදාළ කණ්ඩායම් සමඟ සංවාද හා උපදේශන ද වැදගත් වනු ඇත. පසුගිය මාසයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී රජය හොඳින් කටයුතු කළ නමුත්, එහිදී දුන් පොරොන්දු ඉටුකළ යුතුය. ජාතික සංහිඳියාවට සහායවීම සඳහා භූමියේ කළ යුතු බොහෝ දේ තිබේ. මෙයට හමුදාව විසින් අත්පත් කරගෙන ඇති ඉඩම් ජනතාවට ආපසු ලබාදීම, සමූහ මිනීවළවල් සොයාගැනීම, අතීත අපරාධවලට වගකිව යුතු අය හඳුනාගැනීම සහ ඔවුන් වගකිව යුතු බවට පත්කිරීම සහ වින්දිතයන්ට හා ඔවුන්ගේ පවුල්වලට වන්දි ලබාදීම ඇතුළත් වේ. රජය විසින් පළාත් සභා මැතිවරණ පැවැත්වීමද අවශ්‍ය වේ. ඒ සියල්ලටත් වඩා, මෙම ක්‍රියාවන් තේරුම් ගැනීමට සහ ඒවාට සහාය ලබාගැනීමට ජනතාව හා අනෙකුත් අදාළ කණ්ඩායම් සමඟ රජය එකාබද්ධව සාකච්ඡා කළ යුතුය.

Advertiesment